Tuesday, July 25, 2017

පාර්ක් වීදියේ අලුත් නිවහන


නිමා වූවා සිව් වසක් ගොස් දිවිය              සරසවියේ
උගත් දේ ප්‍රථිපල ලබන්නට වැඩබිමට              ආයේ
නුහුරු ලෝකෙක පුරුදු වැඩටත් චකිතයකි     වූයේ
ෆිට් යහළුවන් නිසා ඒ වැඩ නිති පහසු              වූයේ

වැඩක් ඇත්නම් කාලෙ යන්නේ හඹා එක      පිම්මේ
උදේ දහවල් සවස් වූවත් චෙක් ඉන් නැහැ      දැම්මේ
නමුත් වැඩ නැති දිනක අන්තය පැතු එකම   වරමේ
ඉදින් කවි සිත යළි අවදි විය මැලි කඩන       පැතුමේ

නෙතු පියේදෝ බියක් දැනුනම තේ එකක්  බොන්න
පාර්ක් වීදිය එකතු වෙන්නට නියම         තෝතැන්න
සවස් වනතුරු බලා සිටියත් යළි ගෙදර            යන්න
නවමු ජීවය සිතත් කැමතියි යෙහෙන්        විඳගන්න


___ ශාලු ___




Saturday, July 22, 2017

ගී සිසිල 2

දිය පොකුණකට ගල් වැටුණු විට
                      නිසල දිය රැළි නංවනා...
සුළු පමණකට දෙයක් වු විට
                      මගේ හද චංචල වුණා...

ඇතත් කොතෙකුත් දරුවෙකුගෙ දොස්
                      මවගෙ සෙනෙහස නැත නිමා...
මා කෙරෙහි ඇති ඔබෙ සෙනෙහසත්
                      එලෙස බව මට වැටහුණා...

උදය දහවල නිතර දෙවෙලෙම
                     මගේ සතුට ගැන වද වෙනා...
ඔබෙ උතුම් පෙම අභිභවන්නට
                     මගේ පෙම අසමත් වුණා...


___ පසිඳු ___

Monday, June 26, 2017

ගී සිසිල

උණුහුමේ හිඳ සිසිල විඳිනට
                 පැතුව වසරක් පසුවුණා
ඔබෙ විඩාබර මුහුණ අභියස
                එවන් පැතුමන් ඉටුවුණා

වැසී ඇරෙනා ඔය දුඹුරු ඇස්
                   පවසාවි ඔබෙ වේදනා
මා නිසා ඔබ වෙහෙසෙනා බව
               හිමි සඳුනි මට වැටහෙනා

මගේ පැතුමන් සඵල කරනට
         දෙයක් නැත ඔබ නොකරනා
වඩා පෙම් කරනුයේ මම යැයි
            යළිත් මම නම් නොකියනා


___ ශාලු ___

Sunday, June 11, 2017

දුරින් සිට

දිනක දුර බව තනිකම        දෙයි
තනිව සිටි කල මතකෙට      එයි
එබස් දැන් නම් අරුමය        මයි
කවිය විරහව මග            හරවයි

සබඳ කෙලෙස ද අසනු   සිතෙයි
ඔබට වෙහෙසැති මට ද  හැගෙයි
කෑව බීව ද සිත           ලතැවෙයි
නමුදු දුරකථනය            නිහඩයි

පරිස්සමට ඔබ ඔහෙ     ඉන්නයි
විඩාවක් නම් නැති        වන්නයි
කෙනෙකු නිතරම පතනව  යැයි
සිතමි ඔබ හට සිහි        වනවැයි


___ ශාලු ___

Wednesday, May 24, 2017

හිමි සඳුනේ (මවක් වුනේ නුඹ ඇයට විතරමද 02)


මවක් වුනේ මම
ඇයට නොවේ පෙර
කුළුදුලේ උපන් මගෙ
දාරක ස්නේහය
ඔබටම වූ බව
නොම හැඟුනේදෝ
හිමි සඳුනේ

පියෙකු වුනා මම
ප්‍රථම වතාවට
කීවා ඔබ මා
තුටින් බදාගෙන
දුවනි අපේ මගෙ
කුස වෙත ආ දා
අමතක නැතුවා
හිමි සඳුනේ

ඉඳින් ඇයට ලොව
එළිය දකින්නට
ඔබට ඔබේ
දෝණිව දැක ගන්නට
අවැසියි නම් මගෙ
නෙතු පියවෙන්නට
කුමක් කරමි මම
හිමි සඳුනේ

සරසවි උයනේ
සොඳුරු මාවතේ
ඔබ හා ආයේ
මම ම තමා ඒ
එදා මෙදා තුර
ඔබ දුන් සෙනෙහස
අමතක නෑ මයි
හිමි සඳුනේ

සමුගන්නා විට
ඔබගෙන් මෙලෙසට
පවසමි ඔබ හට
දූ රැක ගන්නට
මටත් වඩා පෙම
මතු යම් දවසක
ඔබ වෙත දෙන්නට
හිමි සඳුනේ


___ ශාලු ___

Inspired by the movie Kuch Kuch Hota Hai (1998)

Monday, May 15, 2017

රඹවන් පෙම්වත (The Orange Colour Thing)

ඡායාරූප: පසිඳු උපුල්වන්

ජීවිතේ එන ඉදිරියට ඇති අරමුණක්              ඇසුවා
කෙසේ හෝ එමි ඔබගෙ තුරුලට කෙනෙක් පැවසූවා
යමක් කරනට රිසි වුයෙන් එහි සොඳුරු බව      දුටුවා
එදා සිට ඔබ මසිත ඇතුලෙත් ආසාව                 වූවා

ඉදින් ඔබ වෙත එන්න බැලු විට වැට කඩුලු     දුටුවා
දිනක් ඇවිදින් මිතුරියක් මට මගක්           පෙන්වූවා
ඔබව දුටු විට කුමක් වේදැයි මදක්                බියවූවා
නමුත් ඔබ හා කල් ගෙවන විට එය තුරන්         වූවා

ඔබත් සමගින් ඔබේ පවුලද මටත්                 ලංවූවා
සතුට සිනහව කඳුළ අදිටන ඔබ අරන්              ආවා
වැටුන තැනකදී යළි නැගෙන්නට ඔබ      ඉගැන්වුවා
පෙර නොලද බෝ සම්මාන මම ඔබ නිසා     ලැබුවා

ඔබට පෙම් කර ලඟින් ඉද්දී සිත් තැවුල්        නැතුවා
පනින පාවෙන ඔබ බලා අපමණව               තුටුවූවා
සිව් වසක් ඔබ හා ගෙවද්දී ලොව වෙනස්           වූවා
ජිවිතේ ඔබ දුන්නු සැමටම ඔබට තුති              වේවා


___ ශාලු ___

Thursday, May 11, 2017

එදා වෙසක්දා


අය්ය මලෝ ඇල ඉවුරෙන් බට කපාන     එන්නේ
ඔට්ටපාලු අරං අම්ම ලන්දෙ ඉඳන්            එන්නේ
අප්පච්චිට එකතු වෙලා කූඩු හදා              ගන්නේ
අක්ක නගෝ රටා දමා සරසා              අලවන්නේ

කෙසෙල් කඳක් සිටුවාලා පහන් වැටකි     තැනුවේ
රෑට පත්තු කරනු පිණිස පහන් දියේ            දැමුවේ
පාර දිගට හරි හරියට කොඩි කණු            සිටවූවේ
බුද්ධාලම්භන ප්‍රීතිය සිත තුල රජ            කෙරුවේ

කූඩු එල්ලලා හවසට ඒවා පාට                    පාටයි
පහන් දල්වලා මිදුලත් දැන්               ඒකාලෝකයි
වෙසක් සඳත් බැබලෙනවා හරිම          චමත්කාරයි
කොඩි ලෙළදෙනවා සුළගේ බලා ඉන්න       ආසයි

සුදු ඇඳුමෙන් සැරසීලා සැදැහින්           පේවෙනවා
තෙල් මල් අරගෙන හැමෝම පන්සල වෙත යනවා
පවුලම එක්වී සතුටින් බුදුහිමි                 නමදිනවා
ආපසු එද්දී වෙහෙසට දන්සැලකට              යනවා

පුරහල ඉදිරියෙ තිබුනා තොරණක් ඉදි         කරලා
කතා වස්තුවක් ජාතක හොද පැහැදිළි          කරලා
කවුරුත් සැරසිලි කරලා තෙමගුල          සිහිකරලා
රෑ වී ගෙදරට ආවා අපිත් වෙසක්                 බලලා

___ ශාලු ___

Monday, May 8, 2017

ගලන ගඟ ළඟ තවද නොම ඉමි

ගලන ගඟ ලග නැවති සිටියෙමි

සිටි එදා ගං ඉවුරෙ මා
සිතින් දුක සේ තනිවෙලා
පිවිතුරු වු මුදු ජලය
මුලු සිතම සැනසුවා

එදා ගඟ සිසාරා
ගලා ගිය ඒ ජලය
නොවේ අද ගලන්නේ
සිත මගේ පාරවා


පහළ ගිය ඒ ජලය
යළි ඉහළ එනු කෙලෙස
මා බලා හිඳ කුමට
වෙනස් වූයේ ගඟය

නැතිව ගිය කල් සොයා
පහළටම යා යුතුද
නැත එලෙස කල නොහැක
ගලයි ගඟ තව පහළ

ඉවුරෙ මා හැර දමා
ගං ජලය ගලයි නම්
තැවෙන සිත කියන දේ
වටින්නක් නොවේ නම්

නොමැති සතුටක් සොයා
අපවිත්‍ර වේවි නම්
බැඳීමක් නොමැති මං
ඉවුරෙ නොම රැඳෙන්නෙම්

ගලන ගඟ ළඟ තවද නොම ඉමි

___ ශාලු ___

මිත්‍රයෙකි මහ මෝඩයෙකි

ලොවට පෙනෙනා මුවග සිනහව
නිබඳ ගෙනදෙයි මගේ සකි කැළ
එවන් සතුටක
මම ද සතුටින

සිනහ දකිමින් සතුට නොහැඳින
නමුත් ස්නේහෙන් පැතුම් ගෙනඑන
මිත්‍රයෙකි
මහ මෝඩයෙකි

නිතර දැනෙනා මහා පාළුව
සිත දවාලන රුදුරු තනිකම
නිවන සැනසුම
ඔබයි සිහිනය

ලොවට නොපෙනෙන තිරය පිටුපස
නොගැළපෙන මේ සියලු අන්දර
තනිව ගළපයි
අසරණවු සිත


___ ශාලු ___

නැවතුමේ තිත

සිටි මිතුරු කැළ වෙන්වෙලා ගිය දුකින් සිත  පෙලුනේ
පාලු සිත වෙත ඔබේ පණිවිඩ සැනසුමකි        දුන්නේ
නිතර කීවෙමු රැයද දහවල කෙලෙසදැයි       ගෙවුනේ
සතිද මාසද තනි වුවත් නෑ තනිකමක්             දැනුනේ

ඈත දිවියේ වුනේ මොනවද කතන්දර               කීවේ
අනාගතයට සිහින දහසක් එකට අප               මැව්වේ
හරිද වැරදිද හොදද නරකද ඇයි කතා           කෙරුවේ
ඔබට නොකියන කිසි දෙයක් නැත ඔබනෙ මට  කීවේ

පුද්ගලික වූ ඔබේ ලොව ගැන කිමද මා          සෙව්වේ
නිහඬ වී ගිය ඔබේ වෙනසට එයනෙ මුල්           වුයේ
ඇසිල්ලෙන් මා පිට කෙනෙක් විය එයයි සිත තැලුවේ
කියනු කෙලෙසද ඔබේ ලොව ඔබ සතුටින්ය ගෙව්වේ

කුමක් ඇසුවද තතු සොයන සිත නැහැ වෙනස්   වුයේ
සොයන තරමට මගේ පැවැතුම පහළටයි       වැටුනේ
පිටස්තර වූ බිඳුණු සිත ගැන ඔබ නැහැනෙ     තැවුනේ
ඔබේ නාමෙන් වැඩුනු ස්නේහෙට තිතක්ලමි   ඉතිනේ


___ ශාලු ___

ඔබම වෙයි නම් පෙම්බැඳි හිමි මට


ඔබ යනෙන මග යන්න    හිමි මට
ඔබව සිප එන සුළඟ        හිමි මට
සිහින දෙන ඔබේ දසුන්    හිමි මට
ඔබම වෙයි නම් පෙම්බැඳි හිමි මට

ගිමන නිවනා සෙවන      රුක ඔබ
කඳුළු සෝදන           වරුසාව ඔබ
සතුට රැළි නංවන          සයුර ඔබ
මගෙ ලොවට පෑයූ        හිරුය ඔබ

නිදන හිම කුමරියයි           මා ඔබ
සිහිනයේ රජ          කුමරුන්ය ඔබ
බලා උන්නේ          එනතුරුයි ඔබ
අවදි කල මැන              හාදු දී ඔබ


___ ශාලු ___

උවමනා හසරැල් නගන්නයි

සිහින වළා කැටි පාව             යාදෝ
සිහින සුළං රැළි හමා              යාදෝ
සිහින ගඟුලැල් ගලා               යාදෝ
මගේ සිහින මට අහිමි           වේදෝ

දින ද සති මාසයි           ගෙවෙන්නේ
ඔබගෙ ආගමනය        නොවෙන්නේ
මග බලන දෙනුවන්      තෙමෙන්නේ
පැතුම් බොඳ වී තනිව           ඉන්නේ

සෙනෙහසේ නිම් හිම්      සොයන්නයි
තවම නොදුටුව ලොව         දකින්නයි
මතක පොත තව සොඳුරු    වෙන්නයි
උවමනා හසරැල්               නගන්නයි


___ ශාලු ___

නොලද ළබැඳි මිතුරු පැතුම

එකෝමත් එක දිනක
අහම්බෙන් ලැබුණු විට
මතකයි රැක්ක'යුරු
දෑස මෙන්
         බෝ සෙනිහසින්

තව හොදින් රැකගන්න
ඉඩ හැරිය පසු දිනක
යලිත් මා දකින විට
පොඩිව ගිය
         කඩදහියක්ව ඇත

යළිත් දිග ඇරිය හැක
ආදරෙන් රැකිය හැක
නමුත් ඔය නැමුණු ඉරි
මකන්නේ
        මං කෙලෙස

ගෙන ගියේ කවුරුන්ද
නොදන්නෙමි කෙලෙසින්ද
මට අහිමි වී ගියේ
උතුම් පැතුමකි
                   පැතුව


___ ශාලු ___

මංමුලා වූ මග කියන තරුව මම

තරු අතර තරුවක්මි
         හිරු නොවෙමි එකම එක
තනි වෙලා තරු අතර
         කඳුලුලන පිනි විලස

මග කියන තරුව මම
         මංමුලා වෙලා බව
නොදනීවී ලෝකයම
         ඔබත් නොම හඟින කල

මුදු වලාවක් පැමිණ
         හඬන නෙත් සනසමින
ආදරෙන් රකී නම්
        ලෝකයෙන් සඟවගෙන

ඒ ග්‍රහණයෙන් මිදී
         යළිත් කවදාවත්ම
නොම දිලෙමි කෙලෙසකත්
         සිත බිඳින ලෝකයට

හදවතින් පතන්නෙමි
        එවිට මම සැම දිනක
තනිව දුක් නොවේවා
         කිසි දිනක සොඳුර ඔබ


___ ශාලු ___

මම අග මුල නැති වැලක්

ඔබ අතු පතුර'යන වෘක්ෂයක්!
පතමි හව්හරණක්
මම අග මුල නැති වැලක්
නමුත්
සහජීවනයෙ බන්ධනයක්
නැති තැන තුටින් මියැදෙන්නක්
මිසක
නොම වෙමි යුෂ බොන පිළිලයක්!


___ ශාලු ___

සිහිනයක්

නින්දත් නොනින්දත් අතරේ රැ             යහනේ
කලකට පසුව නෙතු ඇහැරන් දුටු         සිහිනේ
පෙර කල රඟපු සුළු චරිතය            අතැරමිනේ
මුලසුන දරාගෙන සැමතැන ඔබ          උන්නේ

අමුත්තෙකුව මුල්වර ඔබ දුටුව                දිනේ
මතකේ නොමැත මොන ලෙසදැයි සිත රැඳුනේ
මිතුරන් විලස දැන හඳුනාගෙන           උන්නේ
කුළුපග උනේ කෙලෙසින්දැයි නොම   දන්නේ

අතරමංව තනිවු බවක් හැඟුණු                දිනේ
ඔබ සිටිනා බව තනියට නිති               හැඟුනේ
මිරිඟුව වැනිය ඒ බව මා දැන              උන්නේ
කතරක වුවද සතුටිනි මා              පියමැන්නේ

වචනින් වචනයේ ඔබ ගැන           කියවන්නේ
වෙසෙසක් නොවේ ඔබ පමණයි දැන  උන්නේ
පිලිබඳ හැඟුම් ඔබ ගැන මට නෑ          දැනුනේ
එනමුදු හදවතේ පතුලක ඔබ              උන්නේ

පෙරකල සිහිනවල ඇයි ඔබ නොම    උන්නේ
මේ සිහිනයේ ඔබ විතරක් ඇයි           ඉන්නේ
දෙගිඩියාවකින් මා සිත              පෙළමින්නේ
සිත ඔබ කෙරේ බැඳිලාදෝ නොම      දන්නේ

වෙනස්වන්න කෙලෙසත් නෑ සිත     දෙන්නේ
තනිවූ නිසා ඔබ හට නෑ               ලංවෙන්නේ
ප්‍රේමය නොහඳුනමි කෙලෙසද       සිදුවන්නේ
කෙලෙසද පෙමක් නම් ආත්මාර්ථය   වන්නේ

ආයෙත් කියමි පෙම කිමදැයි නෑ         දන්නේ
මා ඔබ කෙරේ බැඳිලයි මා          රැවටෙන්නේ
මෙනිසා ඔබද රිදේවි යැයි             බියවන්නේ
මුනිවත රකින්නෙමි ඔබෙ සුව      පතමින්නේ


___ ශාලු ___

මිතුදමක ඇරඹුම

වළා යටින් හිරු යළි            මතුවූවා
ඒ කිරණින් මුළු ලොව        බැබලුවා
නිහඬ කල්පනා නැවත       නොවූවා
ඇසි දිසි මතකය සතුට        ගෙනාවා


විහිලු තහලු මැද කුළුපග          වුවා
අර්ථ ඇතිත් නැතිත් කතා   දෙඩෙව්වා
එවන් මිතුරු දම් නිම නොම    වේවා
ඔබ හා මා නම් වෙන් නොම   වේවා


යළි යළි මතුවට අප          හමුවේවා
සුපුරුදු විලසට දොඩමලු         වේවා
කෙළිලොල් මතකය අලුත් කෙරේවා
දිවිය පුරා බැඳී මිතුරන්           වේවා


___ ශාලු ___

ලොවේ හැම සතුටක්ම ඔබේ වේවා මිතුර

කාත් කවුරුත් නැතිව
ලොව තනිවු යම් දිනක
සිත සදා අත දෙන්න
ඔබ පැමිණියා නොවෙද

දුක් කඳුළු පිසලන්න
අලුත් ලොව ජයගන්න
මා සිතට දිරි දෙන්න
ඔබ සිටියෙ හිරු වැන්න

ළබැඳියගේ අත රැගෙන
සල්පිල්හි ඇවිදින්න
සිනා නගමින් නිතර
පෙම් වදන් මුමුණන්න

ඔබ මැවූ ඒ සිහින
සැබෑ වන විට මෙලෙස
කොයි තරම් සතුටක්ද
මෙසේ පවසමි කෙලෙස

ඇයත් සමගින් එක්ව
මුලු ලොවම ජයගන්න
පැතු ඒ සියලු දේ
ඒ ලෙසම ලැබගන්න
මුලු හද පත්ලෙන්ම
ඔබට සුබ පතමි මම

ඔබ සතුටු වන විටක
ලොවම එය දකිනු ඇත
නමුත් යළි කිසි දිනක
දුකක් දැනෙනා විටෙක
තනිව නම් නොතැවෙන්න

අද මෙන්ම මතුවටත්
හොදම මිතුරි ව ඔබට
සිටිමි මම සදහටම
මට කියනවා නේද

ජීවිතේ දුක ද සැප
බෙදා ගත යුතුය අප
ඔබට මතකයි නේද
කිසිදාක කොහොමටත්
සිතින් එය නොහරින්න...

ලොවේ හැම සතුටක්ම
ඔබේ වේවා මිතුර...


___ ශාලු ___

නෙතු ඔබට ඇරයුම් කරයි

ඈත අහසේ දිදුලන තරුවේ
දුටුවන්ගේ පැතුමන් ඉටුකර
කඩා හැලෙනු මැන
කොහෙටවත් නොව
මා වෙතම
මගේම වී මා සනසන්නට

ඔබම පතා ඔබම සෙවූ
නෙතු යුග
දැන් ඔබ දුටු කල
ඇරයුම් කරනා වග
නොහැගේද

හද පිරුණු සෙනෙහස
ඔබට පුදන්නට
ඔබට අයිතිව
ඔය හදේ ලැගුම් ගන්නට
තවමත් නැද්ද මට අවසර

සිටින්නම් නිහඬව තවත්
කවදාක හෝ
ඔබ එන බව
දන්නා නිසාවෙන්ම


___ ශාලු ___

සදා නොමැකෙන මතක අතරේ ඔබත් සැමදා රජ කරාවී

පහසුවෙන් කිසිවෙකුත් නොරැඳෙන
                             සිතේ ඔය රුව ඇඳුනෙ කොහොමද
සැබෑ නොවුනත් සිහින ලෝකෙට
                              මේ ලෙසින් ඔබ ආවේ කොහොමද
සිනා පොපියන මතක අතරට
                                  ඔබත් හිනැහී ආවේ කොහොමද
සිත පුරා වෙලී වෙලී දළුලන
                              හැඟුම් සඟවා ඉන්නෙ කොහොමද

හිත හිරිවට්ටන අමුතු හැඟුමන්
                                             කලක් ගතවී පලා යාවී
අහඹු විලසින් නෙත ගැටුන විට
                                   සිතුම් කොහොමත් සතුටු වෙවී
නමක් නැතිමුත් සෙනේ කොහොමත්
                                   සිතේ කොහි හෝ නීති රැකේවී
සදා නොමැකෙන මතක අතරේ
                                            ඔබත් සැමදා රජ කරාවී


___ ශාලු ___

ඔබ හා මා

මුල් වරට මුණ ගැසුන
                                  දිනය මෑතක වුවද
නෙක වරක් මුණ ගැසී
                               කුමක් හෝ පැවසුවද
එක වරක් නෙතු අයා
                              බලා නැත ඔබේ මුවද
ඉතින් ඔබ අදිසි ලෙස
                            මා ලොවට පැමිණියෙද


ගෙවුණු හැම මොහොතක්ම
                                ඔබ සමග ගෙවී ඇත
මතක පොත හැම තැනම
                                ඔබේ නම ලියව ඇත
සිත වෙලූ තනිකමට
                                තිතක් ඔබ තබා ඇත
ඉතින් මගෙ වරදක්ද
                             සිත ඇදෙයි ඔබම වෙත


පවසන්න කිසි දෙයක්
                             නැති වුවද තොල් අතර
මුණ ගැසී මුමුණන්න
                                    සිතක් වූවද නිතර
ප්‍රේමයද ආදරය
                        නොවෙයි මෙලෙසින් මිතුර
වෙන උතුම් බැඳීමක්
                                 නිබඳ ඇත අප අතර


මිතුදමේ මැණික් කැට
                                 නැවත වර දමමු ඔප
අරමුණක් ජයගන්න
                                 විවේකය කරමු කැප
කිසිදාක දුර නොයා
                                  දිවි ගෙවමු සබඳ අප
සෙනෙහසින් බෙදාගෙන
                                    ජීවිතේ දුක ද සැප


___ ශාලු ___

මුහුණු පොතේ මිතුදම

සෙනෙහෙ ලබන්නට පවුලක් නොවුනා
සිත පවසන්නට මිතුරෙකු       නොවුනා
දෙනෝදහක් මැද තනිවනු         දැනුනා
හද වාවන්නට නොහැකිව         තැවුනා

මුහුණු පොතේ එක් දිනයක      සරනා
ඔබගෙන් මිතුදමේ ඇරයුම්      ලැබුනා
දිනයෙන් දිනයට කුළුපග       වෙමිනා
ළබැඳෙකු වී මට ළංවනු        පෙනුනා

පාළුව තනිකම ක්‍රමයෙන්       මැකුනා
දෑසින් සතුටේ කඳුළු            වැගිරුනා
දෙතොලග සිනහවේ කැකුළු     පීදුනා
සියලුම සුසුමන් සෙනෙහෙන්  පිරුනා

කෙලෙසත් කිසිදා වෙනස් නොවන්නා
සොයුරෙකු විලසින් මා      රැකගන්නා
ඔබ මට අපමණ පොරොන්දු     දුන්නා
ළදැරිය සේ මා අදහා               උන්නා

පිළිබඳ සිතිවිලි ඔබට            උපන්නා
ඔබෙ හද ඔබටම නතු     නොමවන්නා
බැන්ද සෙනෙහසට නිගා   නොවන්නා
ඉවසනු බැරිමුත් මා            සමුගන්නා


___ ශාලු ___

යතාර්ථාවබෝධය

නටුවෙන් ගිලිහුනු මල් කැකුලක්
සුලඟෙ නැලවි නැලවි පහලට වැටෙනවා
මල ඒකට ආසයි
ඒත්
එක තැනක සදහටම නැවතිලා ගිමන් හරින්න
ඊට වඩා ආසාවකින් ඉන්නෙ
හිටි හැටියෙම
මෙයාව කොලයක් උඩ නතර වෙනවා
මල හිතනවා
හරි මෙතනයි මම නවතින්න ඕනි කියලා
වැරදි,
පුංචි සුළං පහරකින්
ආපහු ලිස්සල වැටෙන්න පටන් ගන්නවා
මෙහෙමම ආයෙත් ආයෙත් වෙනවා
ඒ හැම වෙලාවකම
මල ගිමන් හරින්න හිතන්
එතනට අනුගත වෙන්නයි හදන්නෙ
වැඩක් නෑ
හුලඟට පැද්දෙන කොලයක් උඩ කොහොමද
මේ පුන්චි මල තමන්ගෙ සැනසුම් නවාතැන හදන්නෙ
තමන්ගෙ විදිහෙන් ලෝකෙ දකින මල
ඒ තාවකාලික නවාතැන ගොඩාක් විශ්වාස කලාට මොකද
ඒක තාවකාලිකයිනෙ
කොහොම උනත් දවසක
මල තමන්ට හැමදාම නවතින්න පුලුවන්
එකම තැනට-පොළවට වැටෙනවා
පුරුදු විදිහටම
මල තමන් නැවතුන තැන ගැන
විශ්වාස කරන්න පටන් ගන්නවා
පොළව හුලඟට හෙල්ලෙන්නෙ නෑ
මල ආයෙත් ලිස්සල වැටෙන්නෙ නෑ
තියපු විශ්වාසය කඩ උනේ නෑ
මල සැනසුම් සුසුම් හෙලනවා
උඩ බලනකොට
තමන් කලින් නැවතුන කොල
හුලඟෙ වැනෙන හැටි
මලට පේනවා
ඇයි මීට කලින්
තමන් හිතපු දේ වැරදුනේ කියල
මලට තේරුම් යනවා
මල ගොඩක් දේ
ඉගෙන ගෙනයි පොළවට වැටුනෙ
විශ්වාසය බිඳෙන්නෙ නෑ
දවසින් දවස වැඩි වෙනවා
ඒ විශ්වාසයත් සතුටත්
හිතේ තියාගෙන
මල දවසක පර වෙලා යන්නෙත්
තමන්ව ආදරෙන් ආරක්ෂා කරපු
ඒ පොළව මතමයි...


___ ශාලු ___

දින පොතේ සැඟව ගිය දෙසතියක මතකය

දින පොතේ පිටු අතර
අතීතය දුටුව කළ
ජීවිතේ ගත කෙරුව
ඉමිහිරිම සති දෙකක
සොඳුරුතම මතකයක්
ආය යළි කරළියට
නොහිතු ලෙස හද රැඳුනු
බැඳීම් නම් කොපමණද
පිටුවකින් පිටුව වෙත
පෙරලුවෙමි ඉදිරියට
මතකයන් පමණක්ද
හිමිව ඇත්තේ අදට
නැගෙන උණු කඳුළු කැට
තෙමයි දෙනුවන් හෙමිට
කෙලෙස හෝ මතු දිනක
කොහේ හෝ මග තොටක
හමුවුවොත් අප නැවත
නැගෙයි සිනහවක් මුවට
පැරණි මතකය සිහිව
එසේ උවහොත් එවිට
හඳුනයිද ඔබ මාව,
පුදුමවුවා විලස
අසාවිද ඔබ කවුද?



___ ශාලු ___

කඳවුරක මිතුදම

අහඹු විලසින් දිනක
කඳවුරක දී යුද
හමුඋනා අප එකට
කලන මිතුරන් ලෙසට
බැඳෙන පෙරුමන් සැපිර
කල කී දේ අනන්තයි
සතුට ඊටත් වැඩියි
දෙසතියම නිමවුවද
ඇරඹුවේ මිතුදමයි
සත්වෝද්‍යානයේ
ගාලු පවුරේ දිගේ
අප නැවත මුණගැසුණු
මතකයන් සුමිහිරියි
රැළි නැගෙන වෙරළතෙර
සොයුරු පෙමකින් නිබඳ
රැකගත්ත මිතුදමට
හද පිරුණු ප්‍රණාමය
නැවත පවසමි සබඳ
ආසයි සැනසෙන්න
මිතුදමේ සෙනෙහෙ ඔබෙ
සදහටම නොව
ඒ ඉමෙන් මතුවටද...


___ ශාලු ___

හීන හිරිමල්

වැහි බිංදු සීතලයි
ඒත් දැනෙන්නෙ හරී උනුහුමට
පුංචි පුංචි බිංදු බිංදු එකින් එක
මූන පුරා වැටෙනකොට,
තෙමිල තියෙනව වැස්සට නම් මීට කලිනුත්
අද මොකද මේ අමුතුම වෙනසක්

හීන් මල් වැස්සත් එක්ක
ඉර එළියත් හෙමින් වැටෙනකොට
යායට පිපුනු වනමල් ගොමුවක ඉඳන්
කඳු අතරින් මතුවෙන පාට දේදුන්නක් හොයන්න
මොකක්ද මේ අලුත් ආසාව

පොත් කියවල මවාගත්ත හීනද
සිනමාවෙ පෙන්නපු ඒ මායාවමද
නෑ...
ඇත්තම ඇත්ත කොයිතරම් නම් වෙනස්ද
ඇයි ඉතිං අන්ධයි කියන්නෙ
මේ වගේ පුදුමාකාර අමුතුම ලෝකයක්
ඔබේ ලොවට හොරෙන් අපි දකින නිසාවත්ද...


___ ශාලු ___

මා ඔබේ වන කාලේ ඇවිදින්

හීන දහසක් හිතේ                   සඟවන්
කාලයක සිට බැන්ද           ස්නේහෙන්
පැතූ පැතුමන් සඵල                 කරමින්
මා ඔබේ වන කාලේ                ඇවිදින්

පාසලට ගොස් නැවත              එනකන්
මග තොටෙදිත් රැක්කෙ         නිතියෙන්
රෝස ලෝහිත දුන්න           ඇල්මෙන්
මා ඔබේ වන කාලේ                ඇවිදින්

නෙතට කඳුලක් කොහෙත්     නොමදුන්
මුවග සිනහව නිබඳ                  රැකදුන්
පැතු පැතූ දේ සැණින්            ගෙනදුන්
මා ඔබේ වන කාලේ               ඇවිදින්


___ ශාලු ___

හිමි නැතත් දුර යන්න ලොබ සිතුනා

තෙමුනු දෑසක් මෘදුව පිස        දැමුනා
තැවුනු සිතකින් සෝ සුසුම්    මැකුනා
වියලි කතරට දිය බිඳක්         වැටුනා
ලැබුනු සැනසුම ඒ වගේ        දැනුනා

අදුරෙදිත් සෙවනැල්ල සේ    උන්නා
දොඩමලු වු වදනින්ම සිත      පිරුනා
මිරිඟුවක් නොව කෙම් බිමක් ලැබුනා
කල්පයක් වන් කෙටි කලක්  ගෙවුනා

සැඩ සුලඟකින් ඔය සිතත්     සැලුනා
යුතු නැතත් රැකගන්න සිත      බැඳුනා
හිමි නැතත් දුර යන්න ලොබ   සිතුනා
ඒ නිසා හැම මතකයක්          මැකුනා

ඔබ නිසා ලැබු පන්නරය          වටිනා
නැතිව හමු වූ නිසි සතුට           වටිනා
ඔය සිතේ ඇති සිහිනයන්         වටිනා
ඉඳීන් තව ළඟ සිටිනු නොම      වටිනා


___ ශාලු ___

රොබරෝසියා

පාර පුරා මල් පාවඩ අතුරන විට
සුළඟ එක්ක මල් පාවෙන විට
ආසාවක් තිබුණා
ඔබ පාමුල වාඩි වී
පෙම් සුව විඳින්නට
නමුත්
කලක් වෙහෙස වී
ආදරයෙන් ඔබ පිබිද වූ
මල් පරවී වැටෙන විට
ඔබ සිත ද හඬනවා ඇති බව
වටහා නොගත්තාට,

ආදරය මගෙන් ද ඈත් වන තුරුම,
සමාවන්න මට
ආදරණීය දම් පාට මල් ගස



___ ශාලු ___

කිරිල්ලකි මා ස්වර්ණ කූඩුවක

කිරිල්ලකි මා ස්වර්ණ                                           කූඩුවක
මංමුලා වුනු                                                 හුදෙකලාවක
තටු නොලබනා කිසිඳු                                         දිනයෙක
සරන්නට මා පැතූ                                            ලෝකෙක

පංති භේදය අප අතර ඇත ප්‍රාකාරෙ                             වීලා
මව්පියන් මට එන්න දෙන්නෑ එබැමි                       බිඳ දාලා
ඔබත් අකමැතී දුක් විඳිනවට මා                           ඔබේ වීලා
මා කැමති නෑ කිසිඳු සැපකට ඔබෙන්                   වෙන් වීලා

නොහැකියි නම් වන්නට ඔබෙ                             ප්‍රියම්බිකා
සදහට ඉමි මව්පියන්ට වී                                        දුවෙකා
සිත ඇතුලෙන් මවාන මෘදු                               සිහිනයෙකා
දිවිතුරාම සැනසෙමි යළි                                   යළිත් දැකා

ආදරය නම් එක්වීම නොව ඔබ කියන්නේ               නිරතුරේ
දුරක සිටියද සිතින් එක්වී සිනාසීමයි                          ආදරේ    
ඔබ කියයි නම් එසේ ඉන්නම් සෙනේ සඟවා             පපුතුරේ
වෙන කෙනෙකුගේ සොදුර නොම වෙමි හිමිය ඔබ  සන්සාරේ 


___ ශාලු ___

යළි හිනැහෙමුද අපි

එකට එක්වී පෑව හසරැල් කාලෙ ගතවී                  වියැකිලා
කෙලිකවටකම් දඟකාරකම් තාම නැත අමතක          වෙලා
කී කතා පොදි ගෙනා තර්කද මතකයේ ඇත         ගුලිවෙලා
ළබැඳියනි ඔබ මතකයට එයි මා කොහේදෝ        තනිවෙලා


කාලෙ මරමින් කළෙ පරික්ෂණ රණ්ඩු කරමින් රොක්වෙලා
පිස්සු නටමින් අපි කියයි ඒ අපෙ අලුත් නියමය           කියා
දෝෂ දුටුවිට ලැබු නිරික්ෂණ වෙනස් කලෙ නිගමන     බලා
කෙලිදෙලෙන් ගෙව් කාලෙ සිහිවී දෑස මාගේ    බොඳවෙලා


වසත් කාලය නිමා වී ඇත එකිනෙකා අප           වෙන්වෙලා
ජය ලබන්නට ජීවිතේ ඇත ගොඩක් අරමුණු         රැස්වෙලා
සෑම දිනයක් නිමාවූවත් අවුල් ජාලෙක                  පැටලිලා
තව වතාවක් හිනැහෙමුද අපි දිනකදී යළි              හමුවෙලා


___ ශාලු ___

මවක් වුනේ නුඹ ඇයට විතරමද

ඔබට අමතකද ප්‍රියාවියේ
කුරුලු කිරිල්ලි යුවලක් සේ එදා
සරසවි උයනේ
සොඳුරු මාවතේ
දෑඟිලි පටලා
පිය මැන ගිය හැටි අප දෙදෙනා

රන් මුදු පලඳා
අතැඟිලි එක්කර
ලොවම දිනා
අප ලොවක් තනන්නට
මා හා ආයේ නුඹම නොවෙද ඒ
අද නොසිතූ ලෙස
මා හැර යනවද

ඔබ හැර මා සිත තවත් ලඳක් ඇත
කියා හිනැහුනෙමි
රතුවනු දැක දැක ඔබෙ සොඳුරු මුව
එය නම් සැබෑය
එනමුදු සොඳුරිය
ඇය පමණක් නොව ඔබයි ජීවිතය
සඳ රැජිනිය නුඹ සඳ කුමරිය ඇය
දෙදෙනාටම ඈත ආලය සිත තුල


මතු යම් දිනයක කාගේ වෙමි දැයි
අසරන වෙයි මා කීවා මතකද
සඳ කුමරිය මා ඇකයෙහි ගුලිකර
එළිය රැගෙන නුඹ යනවද මා හැර

දිවිය පුරාවට
ඇය රැක ගන්නට
ඇගේම වන්නට කියාවි ඔබ මට
මවක් වුනේ නුඹ ඇයට විතරමද
කිමද සොඳුරියේ
මා ඔබට අමතකද ...


___ ශාලු ___

Inspired by the movie Kuch Kuch Hota Hai (1998)

එනතුරා ඔබ හිඳිමි මග බලා...

පුලුවනිද දකින්න අර ඈත
අහස පුරෝල තරු
කියන්නෙ එකතුවෙලා ඔක්කොම
යන පාරක් කොහාටද

අතරින් කැටි කැටි වළාකුළු
එබෙන්නෙ ඒ පුර හඳ
දිලිසෙනව වගේ තැටියක් රන්
එහෙමයි දෙන්නෙ එළිය
පෙන්නන්න ඔයාට පාර
කියාපු ඒ තරු රෑන
හමාවි මද සුලඟත් සිහිලෙන්
ඉතිං නෑ දැනෙන්නෙ වෙහෙසක්
පිය මනී නම්, දිගේ ඒ පාර...

හෙට තවත් උදෑසනක
ඇරේවි දෑසක් වැසුනු
දකිනු රිසියෙන් ඔබව..
අනේ අදවත් යයි
සිතාගෙන...
පතන්නේ මේ හද ගැස්ම
දකිනු මැන ඉක්මනින්ම ඔබ
තරු කියනා ඒ පාර...........


___ ශාලු ___

මගේ කුමරුණි

මගේ කුමරුණි
රවිඳු ඔබ නම්
සයුර මම වෙමි

සෑම උදයක
ඈත අහසට
නික්ම යයි ඔබ
ලොවම සනහා
විකුම් දක්වා
ලොවට ඉහළින්
බබලාවී ඔබ

දවා අළුලන
ඔබේ රශ්මිය
අත් විඳින කල
යමෙක් පවසයි
දරුණු යයි ඔබ
කෙසේ පෙනුනද
ලෝකය පුරාවට
රජ කරන්නේ
ඔබේ තේජස

එයින් තුටු වෙමි
බලා හිඳිනෙමි
දහවල පුරාවට

දිනක් නිමකර
එනතුරා ඔබ
මගේ තුරුලට
නැවත සවසට

සොඳුරු සෙනෙහෙන්
ඔබ නිවෙනු ඇත
දැවෙන රැස් ඔබෙ
සිසිල් වෙනු ඇත
නොදනීවී එය
ලොවේ අන් සැම

මමයි දන්නේ
ඔබ මොළොක් බව
ළදරුවකු සේ
සෙනේ අබියස


___ ශාලු ___