Monday, June 26, 2017

ගී සිසිල

උණුහුමේ හිඳ සිසිල විඳිනට
                 පැතුව වසරක් පසුවුණා
ඔබෙ විඩාබර මුහුණ අභියස
                එවන් පැතුමන් ඉටුවුණා

වැසී ඇරෙනා ඔය දුඹුරු ඇස්
                   පවසාවි ඔබෙ වේදනා
මා නිසා ඔබ වෙහෙසෙනා බව
               හිමි සඳුනි මට වැටහෙනා

මගේ පැතුමන් සඵල කරනට
         දෙයක් නැත ඔබ නොකරනා
වඩා පෙම් කරනුයේ මම යැයි
            යළිත් මම නම් නොකියනා


___ ශාලු ___

Sunday, June 11, 2017

දුරින් සිට

දිනක දුර බව තනිකම        දෙයි
තනිව සිටි කල මතකෙට      එයි
එබස් දැන් නම් අරුමය        මයි
කවිය විරහව මග            හරවයි

සබඳ කෙලෙස ද අසනු   සිතෙයි
ඔබට වෙහෙසැති මට ද  හැගෙයි
කෑව බීව ද සිත           ලතැවෙයි
නමුදු දුරකථනය            නිහඩයි

පරිස්සමට ඔබ ඔහෙ     ඉන්නයි
විඩාවක් නම් නැති        වන්නයි
කෙනෙකු නිතරම පතනව  යැයි
සිතමි ඔබ හට සිහි        වනවැයි


___ ශාලු ___