Thursday, June 11, 2020

තව සමා අයදියි අල්තීනායි

මුහුණු පොතෙහී සරද්දියි මම දුටුවෙ ඔබ ගැන දුයිශේන්
කවි සිතම මට කියා සිටියේ ලියනු ඔබ ගැන දුයිශේන්
කතා වස්තුව ඔබේ හරි හැටි නොදැන සිටියෙමි දුයිශේන්
ඉතින් කියවා හැදින්නෙමි ඔබ පළමු ගුරුතුමනි දුයිශේන්
එදා සිරගෙන් මිදී යන්නට ගුලක් හෑරුවෙ දොර යටින්
නිය කැඩුනු අත් සවිය ගත්තේ ඔබෙ නමින් උන් අදිටනින්
ලොවේ පවු ඈ සෝදලා ඒ සිසිල් පිවිතුරු ගං දියෙන්
ගිය මගේ පියමන් ඔබේ ඈ නමදීවි ඇගෙ මුලු සිතින්
නගරයේ ඈ ජය ලබන්නී ඇගේ නොව ඔබෙ හීනයයි
ඈ පැලදු සිප් කිරුළ හිස මත ඔබම පිබිදූ ප්‍රාණයයි
ඔබ නැතුව ඈ හෙලූ කදුලැල් දුටුවෙ පොප්ලර් ගස් තමයි
සමුඅරන් ඔබ ලොවෙන්, සිතුවට තව සමා අයදියි අල්තීනායි

_____________________________ ශාලු _________________________________

Tuesday, July 25, 2017

පාර්ක් වීදියේ අලුත් නිවහන


නිමා වූවා සිව් වසක් ගොස් දිවිය              සරසවියේ
උගත් දේ ප්‍රථිපල ලබන්නට වැඩබිමට              ආයේ
නුහුරු ලෝකෙක පුරුදු වැඩටත් චකිතයකි     වූයේ
ෆිට් යහළුවන් නිසා ඒ වැඩ නිති පහසු              වූයේ

වැඩක් ඇත්නම් කාලෙ යන්නේ හඹා එක      පිම්මේ
උදේ දහවල් සවස් වූවත් චෙක් ඉන් නැහැ      දැම්මේ
නමුත් වැඩ නැති දිනක අන්තය පැතු එකම   වරමේ
ඉදින් කවි සිත යළි අවදි විය මැලි කඩන       පැතුමේ

නෙතු පියේදෝ බියක් දැනුනම තේ එකක්  බොන්න
පාර්ක් වීදිය එකතු වෙන්නට නියම         තෝතැන්න
සවස් වනතුරු බලා සිටියත් යළි ගෙදර            යන්න
නවමු ජීවය සිතත් කැමතියි යෙහෙන්        විඳගන්න


___ ශාලු ___




Saturday, July 22, 2017

ගී සිසිල 2

දිය පොකුණකට ගල් වැටුණු විට
                      නිසල දිය රැළි නංවනා...
සුළු පමණකට දෙයක් වු විට
                      මගේ හද චංචල වුණා...

ඇතත් කොතෙකුත් දරුවෙකුගෙ දොස්
                      මවගෙ සෙනෙහස නැත නිමා...
මා කෙරෙහි ඇති ඔබෙ සෙනෙහසත්
                      එලෙස බව මට වැටහුණා...

උදය දහවල නිතර දෙවෙලෙම
                     මගේ සතුට ගැන වද වෙනා...
ඔබෙ උතුම් පෙම අභිභවන්නට
                     මගේ පෙම අසමත් වුණා...


___ පසිඳු ___

Monday, June 26, 2017

ගී සිසිල

උණුහුමේ හිඳ සිසිල විඳිනට
                 පැතුව වසරක් පසුවුණා
ඔබෙ විඩාබර මුහුණ අභියස
                එවන් පැතුමන් ඉටුවුණා

වැසී ඇරෙනා ඔය දුඹුරු ඇස්
                   පවසාවි ඔබෙ වේදනා
මා නිසා ඔබ වෙහෙසෙනා බව
               හිමි සඳුනි මට වැටහෙනා

මගේ පැතුමන් සඵල කරනට
         දෙයක් නැත ඔබ නොකරනා
වඩා පෙම් කරනුයේ මම යැයි
            යළිත් මම නම් නොකියනා


___ ශාලු ___

Sunday, June 11, 2017

දුරින් සිට

දිනක දුර බව තනිකම        දෙයි
තනිව සිටි කල මතකෙට      එයි
එබස් දැන් නම් අරුමය        මයි
කවිය විරහව මග            හරවයි

සබඳ කෙලෙස ද අසනු   සිතෙයි
ඔබට වෙහෙසැති මට ද  හැගෙයි
කෑව බීව ද සිත           ලතැවෙයි
නමුදු දුරකථනය            නිහඩයි

පරිස්සමට ඔබ ඔහෙ     ඉන්නයි
විඩාවක් නම් නැති        වන්නයි
කෙනෙකු නිතරම පතනව  යැයි
සිතමි ඔබ හට සිහි        වනවැයි


___ ශාලු ___

Wednesday, May 24, 2017

හිමි සඳුනේ (මවක් වුනේ නුඹ ඇයට විතරමද 02)


මවක් වුනේ මම
ඇයට නොවේ පෙර
කුළුදුලේ උපන් මගෙ
දාරක ස්නේහය
ඔබටම වූ බව
නොම හැඟුනේදෝ
හිමි සඳුනේ

පියෙකු වුනා මම
ප්‍රථම වතාවට
කීවා ඔබ මා
තුටින් බදාගෙන
දුවනි අපේ මගෙ
කුස වෙත ආ දා
අමතක නැතුවා
හිමි සඳුනේ

ඉඳින් ඇයට ලොව
එළිය දකින්නට
ඔබට ඔබේ
දෝණිව දැක ගන්නට
අවැසියි නම් මගෙ
නෙතු පියවෙන්නට
කුමක් කරමි මම
හිමි සඳුනේ

සරසවි උයනේ
සොඳුරු මාවතේ
ඔබ හා ආයේ
මම ම තමා ඒ
එදා මෙදා තුර
ඔබ දුන් සෙනෙහස
අමතක නෑ මයි
හිමි සඳුනේ

සමුගන්නා විට
ඔබගෙන් මෙලෙසට
පවසමි ඔබ හට
දූ රැක ගන්නට
මටත් වඩා පෙම
මතු යම් දවසක
ඔබ වෙත දෙන්නට
හිමි සඳුනේ


___ ශාලු ___

Inspired by the movie Kuch Kuch Hota Hai (1998)

Monday, May 15, 2017

රඹවන් පෙම්වත (The Orange Colour Thing)

ඡායාරූප: පසිඳු උපුල්වන්

ජීවිතේ එන ඉදිරියට ඇති අරමුණක්              ඇසුවා
කෙසේ හෝ එමි ඔබගෙ තුරුලට කෙනෙක් පැවසූවා
යමක් කරනට රිසි වුයෙන් එහි සොඳුරු බව      දුටුවා
එදා සිට ඔබ මසිත ඇතුලෙත් ආසාව                 වූවා

ඉදින් ඔබ වෙත එන්න බැලු විට වැට කඩුලු     දුටුවා
දිනක් ඇවිදින් මිතුරියක් මට මගක්           පෙන්වූවා
ඔබව දුටු විට කුමක් වේදැයි මදක්                බියවූවා
නමුත් ඔබ හා කල් ගෙවන විට එය තුරන්         වූවා

ඔබත් සමගින් ඔබේ පවුලද මටත්                 ලංවූවා
සතුට සිනහව කඳුළ අදිටන ඔබ අරන්              ආවා
වැටුන තැනකදී යළි නැගෙන්නට ඔබ      ඉගැන්වුවා
පෙර නොලද බෝ සම්මාන මම ඔබ නිසා     ලැබුවා

ඔබට පෙම් කර ලඟින් ඉද්දී සිත් තැවුල්        නැතුවා
පනින පාවෙන ඔබ බලා අපමණව               තුටුවූවා
සිව් වසක් ඔබ හා ගෙවද්දී ලොව වෙනස්           වූවා
ජිවිතේ ඔබ දුන්නු සැමටම ඔබට තුති              වේවා


___ ශාලු ___