Thursday, May 11, 2017
එදා වෙසක්දා
අය්ය මලෝ ඇල ඉවුරෙන් බට කපාන එන්නේ
ඔට්ටපාලු අරං අම්ම ලන්දෙ ඉඳන් එන්නේ
අප්පච්චිට එකතු වෙලා කූඩු හදා ගන්නේ
අක්ක නගෝ රටා දමා සරසා අලවන්නේ
කෙසෙල් කඳක් සිටුවාලා පහන් වැටකි තැනුවේ
රෑට පත්තු කරනු පිණිස පහන් දියේ දැමුවේ
පාර දිගට හරි හරියට කොඩි කණු සිටවූවේ
බුද්ධාලම්භන ප්‍රීතිය සිත තුල රජ කෙරුවේ
කූඩු එල්ලලා හවසට ඒවා පාට පාටයි
පහන් දල්වලා මිදුලත් දැන් ඒකාලෝකයි
වෙසක් සඳත් බැබලෙනවා හරිම චමත්කාරයි
කොඩි ලෙළදෙනවා සුළගේ බලා ඉන්න ආසයි
සුදු ඇඳුමෙන් සැරසීලා සැදැහින් පේවෙනවා
තෙල් මල් අරගෙන හැමෝම පන්සල වෙත යනවා
පවුලම එක්වී සතුටින් බුදුහිමි නමදිනවා
ආපසු එද්දී වෙහෙසට දන්සැලකට යනවා
පුරහල ඉදිරියෙ තිබුනා තොරණක් ඉදි කරලා
කතා වස්තුවක් ජාතක හොද පැහැදිළි කරලා
කවුරුත් සැරසිලි කරලා තෙමගුල සිහිකරලා
රෑ වී ගෙදරට ආවා අපිත් වෙසක් බලලා
___ ශාලු ___
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment