උණුහුමේ හිඳ සිසිල විඳිනට
පැතුව වසරක් පසුවුණා
ඔබෙ විඩාබර මුහුණ අභියස
එවන් පැතුමන් ඉටුවුණා
වැසී ඇරෙනා ඔය දුඹුරු ඇස්
පවසාවි ඔබෙ වේදනා
මා නිසා ඔබ වෙහෙසෙනා බව
හිමි සඳුනි මට වැටහෙනා
මගේ පැතුමන් සඵල කරනට
දෙයක් නැත ඔබ නොකරනා
වඩා පෙම් කරනුයේ මම යැයි
යළිත් මම නම් නොකියනා
___ ශාලු ___
දිනක දුර බව තනිකම දෙයි
තනිව සිටි කල මතකෙට එයි
එබස් දැන් නම් අරුමය මයි
කවිය විරහව මග හරවයි
සබඳ කෙලෙස ද අසනු සිතෙයි
ඔබට වෙහෙසැති මට ද හැගෙයි
කෑව බීව ද සිත ලතැවෙයි
නමුදු දුරකථනය නිහඩයි
පරිස්සමට ඔබ ඔහෙ ඉන්නයි
විඩාවක් නම් නැති වන්නයි
කෙනෙකු නිතරම පතනව යැයි
සිතමි ඔබ හට සිහි වනවැයි
___ ශාලු ___